“මේ ජූලි හයවැනිදා මම යළි පාසල් යන්නෙමි” - කසුරි (සිළුමිණ ප්‍රධාන කතෘ)

“මේ ජූලි හයවැනිදා මම යළි පාසල් යන්නෙමි”

නොකියා සිටිය නොහැකි පම්පෝරියකින් මසිත පිරී පවතී. ආරළු බූරළු නැතුව කිව්වොත් එය ‍තනිකරම පම්පෝරියකි. එවැනි පම්පෝරියක් ‘මසිතෙහි’ සටහන් කිරීමෙන් අනෙකුන්හට අත්වන සෙත කුමක්දැයි මට ම සිතාගත ‍ෙනාහැකිය. එහෙත් මම එය මෙසේ සටහන් කරමි. එය මවිසින් කළ යුත්තක් යැයි මසිත මට කියයි. මම මසිතට කීකරු වෙමි.
දෙදහස් පහේ දෙසැම්බරයේ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් පත්වීමක් ලැබ වැඩ බාරගත් දවස්වල සුබපැතුම්වලින් මෙන්ම දෝෂාරෝපණවලින් ද අඩුවක් නොවීය. ඇතැම් පාඨකයෝ ‘ඉරිදා දිවයින’ අතහැර ‘සිළුමිණ'ට පැමිණීම ගැන කැමැත්තක් නොදැක්වූහ. ඇතැම්හු ඒ පිළිබඳව සතුටින් කතාකළහ. ලියුම් කඩදාසි, ටෙලිෆෝන් පණිවුඩ රාශියක් මැද පුංචිම පුංචි “ලියුං කඩදහියක්” මතුකළ අභිමානවත් කම්පනයකින් එකල මසිත පිරීගිය අයුරු මට තවමත් දැනෙනවා දැනෙනවා වාගේය.
“දරුවා නුඹ නිතරම සිතාපන් නුඹ වාඩිවී සිටින්නේ මාර්ටින් වික්‍රමසිංහයන් වාඩිවී සිටි පුටුවේය කියා”
ඒ ලියුං කඩදහියේ තිබුණේ ඒ වැකිය පමණක්මය. “ජිනදාස මුණසිංහ” යනුවෙන් යටින් අස්සන් කොට තිබිණි. ඒ අකුරු පුංචිය. අපැහැදිලිය. ඒත් අරමුණ පැහැදිලිය. එතුමා ගම්පහ බණ්ඩාරනායකයේ වැඩිම කලක් විදුහල්පතිව සිටි ගුරුදේවයාය. එතුමාගේ වසර දාහතරේ විදුහල්පති භූමිකාව පිළිබඳ වාර්තාව අදටත් නොබිඳී පවතී. මම “මුණසිංහ සර්ගේ” කාලයේ ගම්පහ බණ්ඩාරනායකයේ සිටි ශිෂ්‍යයෙක්මි.
මේ පම්පෝරිය පත්තර කන්තෝරුවේ සිටින මා ගැන නම් නොවේ. බණ්ඩාරනායකයේ සිටි ආදි ශිෂ්‍යයා ගැනය.
මුණසිංහ සර්ගේ ලියුං කඩදහිය කියැවූ සැණින්ම වා‍ගේ මට සිහිපත් වූයේ කුමාරසිංහ ටීචර්ය. එක අතකට බැලුවොත් මා අද සිටින තැන සිටින්නේ කුමාරසිංහ ටීච‍ර්ගේ සූක්ෂ්ම හැරවුමක් නිසාය. එතුමිය අපේ හයවැනි පන්තියේ ‘සී’ කොටසේ (මට මතක හැටියට) පන්ති භාර ගුරුතුමියයි. මැදිවියේ සිටින අම්මා කෙනකුගේ රූපකායක් මවාගැනීමට මට ඇති පහසුම ක්‍රමය කුමාරසිංහ ටීචර් මතකයට නඟා ගැනීමයි.
මට ඒ කාලයේ නටන්නත් බැරිය. අඳින්නත් බැරිය. සංගීතයත් බැරිය. (දැනුත් බැරිය) ඒක හින්දා ඒවාට ලැබෙන්නේ පහළොව, විස්ස වැනි අඩු මට්ටමේ ලකුණකි. ඒත් මට සිංහලවලට හොඳ ලකුණක් ලැබුණේය. පන්තියේ දහදොළොස් වැනියාගේ මට්ටමේ වත් රැඳුණේ සිංහලවලට පින්සිදුවන්නටය. අර සෞන්දර්ය විෂයයන් තුනම උත්සාහ කළේ මා අන්තිමයාට ඇද දමන්නටය.
කුමාරසිංහ ටීචර් ඇතැම් අවස්ථාවලදී මගේ රචනාව පන්තියේ ළමයින්ට ඇසෙන සේ කියැවූවාය. පළවැනි ඡේදයත් අන්තිම ඡේදයත් ඉතා පරෙස්සමට හොඳට ලියා අතරමැද ඡේද එහෙන් මෙහෙන් ලියා පිරවූ දවසක ඒ මගේ “කයිරාටික ටෙක්නික් එක” ටීචර්ට හසුවිය.
පොත මේසය උඩට වීසි කළ ටීචර් මා ළඟට විත් “කොල්ලො තොට නටන්ඩත් බෑ... අඳින්ඩත් බෑ... සංගීතෙත් බෑ.. පුළුවන් ලියන්ඩ විතරයි... බොරු නොකර ඒකවත් හරියට කරපං කියා කොන්දට “දෝයි දෝයි” ගා හොඳ පාරවල් දෙකක් දුන්නාය.
මට පුළුවන් එකම දේ ලියන එක විතරයි කියා මා තේරුම්ගත්තේ එදාය. (කුමාරසිංහ ටීචර් කොල්ලන්ට කෙල්ලන්ට කතාකරන්නේ ඒ විදියටය. ඒ අසීමිත ආදරේටය)
ඊට බො‍හෝ කාලයකට පසු උත්තම ගුරු පූජාවක් පැවැත්වූ දවසේ මේ සිද්ධිය මම ටීචර්ට සිහිපත් කළෙමි. (එදා ටීචර්ට බණ්ඩාරනායකයේ වේදිකාව නඟින්නට මා මෙන්ම ගුටි කෑ තවත් ශිෂ්‍යයෙක් අත දුන්නේය.)
“කොල්ලො උඹට ලියන්ඩ පුළුවන් කියල මං ඒ දවස්වල දැනගෙන හිටිය. මං එහෙම උන්ට කැලේ පනින්ඩ ඉඩ දුන්නෙ නෑ...” වියපත්ව.. තනිවම ඇවිද ගත නොහැකි මට්ටමේ සිටි.. ගුරු මෑණියෝ මගේ හිස අතගා පැවසූහ. මම ඈට නමස්කාර කළෙමි.
කුමාරසිංහ ටීචර්... ටයිකෝට් ඇඳ සමර්සෙට් කාරයකින් විදුහලට පැමිණි කුමාරසිංහ ඉංග්‍රිසි සර් (එතුමාගේ නම ද කුමාරසිංහය) හමුවන්නට මේ ජූලි 06 වැනිදා නැවතත් මම ගම්පහ බණ්ඩාරනායක පින්බිමට පියමනින්නෙමි.
කුමාරසිංහ ටීචර් ද කුමාරසිංහ සර් ද ආදි ගුරු මෑණිවරු පියවරු මට එහිදී හමුවනු ඇත. ඒ තවදුරටත් මනුෂ්‍ය ප්‍රාණීන් වශයෙන් නොවේ. දෙවිවරුන් වශයෙනි. ඒ පන්තිකාමරවල .., ඩෙස්ක් පුටු අතර.. කොරිඩෝවේ .. මේ හැමතැන ඒ දෙවිවරු වැඩ වසන්නාහ. මුණසිංහ සර් තවමත් ජීවතුන් අතර සිටිය ද එතුමාට එදිනට පැමිණීමට නොහැකි තරමට වියපත්ව දුර්වලව සිටින බව ආරංචි විය. (නුදුරේ දවසක එතුමාගේ දෙපා නමදින්නට යන්නැයි මසිත මට බලකර සිටී. නිසැකවම මම මසිතට කීකරු වන්නෙමි.)
ජූලි 06 වැනිදා “බණ්ඩාරනායකයේ අපි” නමින් යහපත් සහ කෘතවේදී වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. එය සංවිධානය කොට ඇත්තේ අපේ පුතුන් වැනි මෑත යුගයේ ආදි ශිෂ්‍ය “මල්ලිලා” පිරිසක් විසිනි.
සුදු කොට කලිසමක් සහ අත්කොට සුදු කමිසයක් ඇඳ බණ්ඩාරනායක විදුහලට පැමිණ සිප්සතර හදාරා ආචාර්ය මහාචාර්යවරුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවරුන්, නීතිඥයන්, ගණකාධිකාරින්, පරිපාලන නිලධාරීන්, ව්‍යාපාරිකයින් විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයින් විශේෂඥයින් ... බවට පත්වූ ශිෂ්‍යයෝ සහ ශිෂ්‍යාවෝ එදිනට පැමිණ තම ක්ෂේත්‍ර ඔස්සේ මහා මෙහෙවරක් කිරීමට සූදානම්ව සිටිති. සෞඛ්‍ය සායන (දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී බෝ නොවන රෝග පිළිබඳව, සුවනාරී සායනය, උගුර, කණ, නාසය පිළිබඳ සායනය, අක්ෂි, දන්ත සායනය, නව යොවුන් වියේ ගැටලු, පවුල් සැලසුම්.)
මේ සියලු සායන මෙහෙයවනු ලබන්නේ දැනට විශේෂඥ වෛද්‍යවරුන් බවට පත්ව සිටින ආදි බණ්ඩාරනායක පුත්‍රයින් විසිනි.
දේශීය වෛද්‍ය සායනය, දේශීය වෛද්‍යවරුන්ව සිටින එවැනිම ආදි ශිෂ්‍යයින් විසිනි.
මේ හැරෙන්නට නීති උපදේශක සේවාව, ජාතික හැඳුනුම්පත් සේවය, විදේශ ගමන් බලපත්‍ර සේවාව, ඉඩම් ගැටලු, බදු හා ගිණුම් කටයුතු, වෘත්තීය මාර්ගෝපදේශකත්වය මේ සියලු වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ ආදි බණ්ඩාරනායක විද්‍යාර්ථීන් විසිනි.
ඒ හැරෙන්නට ලේ දන්දීමේ කඳවුරක් ද පැවැත්වීමට නියමිතය.
“සයානූ වසරක සිංහාවලෝකනය බණ්ඩාරනායකයේ අපි - සහෝදරත්වයේ අත්වැල” නමින් වූ තේමාව යටතේ පැවැත්වෙන මෙම මහා ප්‍රජා සත්කාරය දැක බලා ගන්නට මම ද එහි යාමට තීන්දු කර ඇත්තෙමි.
එදින මට අපේ හයවැනි ශ්‍රේණියේ ‘සී’ පන්තිය තිබුණු පන්ති කාමරයට ද යා හැකිය. මට එහිදී ටික්කා, ලකියා, කළු අබයා පමණක් නොව චන්ද්‍රා, අනෝමා, මදාරා, පුෂ්පා වැනි මිතුරු මිතුරියන් මනසින් හෝ හමුවනු ඇත. (එකල ශිෂ්‍යාවෝ ද සිටියහ. අද නම් නැත)
එකල පන්තියේ ඩෙස් අතර කොරිඩෝවේ දුව පැන ගිය චන්ද්‍රලා දැන් මවුවරුන් නොව ආච්චි අම්මලා ද වී සිටිනවා විය හැකිය. ලකියා එංගලන්තයේය. ටික්කා කොහි සිටිනවාදැයි නොදනිමි. කළු අබයා හදිසියේම මිය ගියේය. ඒ කාලයේ පන්තියේ පසුපසට වී ‍ඩෙස් එකට තට්ටු කරමින් සින්දු කිව්වේ අප සිවුදෙනාය. තාමත් ඒ ඩෙස් පුටු තිබෙනවාද? එදිනට එහි ගොස් අත පතගා බලන්නෙමි. තිරිමාන්න සංගීත සර් ඉස් ඉස්සෙල්ලාම බෑන්ඩ් එකක් හැදුවේ අපේ කාලයේය. ඒ ‍ස්පෝට්ස් මීට් එකේ ආචාර පෙළපාළියටය. ඒ බෑන්ඩ් එකට ටික්කා හෙවත් ටී.කේ.කරුණානායක ද ඇතුළත් විය.
අද බණ්ඩාරනායකයේ තූර්ය වාදක ඛණ්ඩ ගැන මම නොපවසමි. ශ්‍රී ලංකාවේම පාසල් තූර්යවාදක කණ්ඩායම් “අපේ එකට” පරාජය වූයේ වරක් දෙවරක් නොවේ.
ගම්පහ බණ්ඩාරනායකයේ විද්‍යා උසස් පෙළ පටන්ගත්තේ අපෙන්ය. ගම්පහ රත්නාවලියේ එකල විද්‍යා උසස් පෙළක් නොතිබූ හෙයින් ඔවුහු සාමාන්‍ය පෙළින් පසු අපේ විදුහලට ආහ. එහෙත් අපේ කාලයේ දොස්තරවරයකු හෝ ඉන්ජිනේරුවරයකු බිහිවූයේ නැත. එහෙත් ජූලි 06 වැනිදා සියලු සායන සහ සේවා මෙහෙයවනු ලබන්නේ බණ්ඩාරනායකයෙන් බිහිවූ විශේෂඥ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ආදි විද්‍යාර්ථීන් විසිනි. සුබ්‍රමනියම් සර් ... පනාමල්දෙනිය ටීචර් සිටිනවා නම් ඔවුන් එදා දැමූ පදනම ගැන ආඩම්බර වනු ඇත.
ගම්පහ බණ්ඩාරනායකයේ මුල්ම ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වූයේ ටෙරන්ස් වික්‍රමසිංහය. ඔහු අද ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ නීතිඥවරයෙකි. මම දෙවැනි කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වීමි. එකල අපට තිබුණේ කටු සහිත ග්ලවුස්ය. කටු ගැලවුණු ග්ලවුස් එක පැලඳ සිටීම නිසා වරක් අතේ වැදුණු පන්දුවකට මගේ ඇඟිල්ලක අස්ථියක් බිඳී ගියේය. එහෙත් එකල සිටි ක්‍රීඩකයන්ට අඩුම තරමින් කොළඹ ක්‍රිකට් සමාජයකවත් ක්‍රීඩා කරන්නට ලැබුණේ නැත.
එහෙත් අපේ බාල පරම්පරාව ගැන මම අතිශයින්ම ආඩම්බර වීමි. පසුකාලයක බණ්ඩාරනායකයට එරෙහි වූ පාසල් පිතිකරුවන්ගේ පොලු ගැලවූ නුවන් කුලසේකර වර්තමානයේ ශ්‍රී ලංකාවට එරෙහි වන අන්තර්ජාතික පිතිකරුවන් ගේ පොලු ගලවන විට “අපේ එකෙක්” යැයි මම අසල සිටින්නවුන්ට ආඩම්බරයෙන් පවසමි.
එහෙත් ඔහු ක්‍රීඩා කළේ ද මා ක්‍රීඩා කළේ ද තවමත් හරි හැටි සකස් වී නැති බොරළු සහිත පිට්ටනියේ මැටින් එකකය.
1996 ලෝක ක්‍රිකට් ශූරතාවය ‍දෝතින් ගෙන මවුබිමට පාතැබුවේ අර්ජුනය. එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාපිටියේ සිට ලෝකයේ සෑම ක්‍රීඩාංගණයකම අර්ජුන ක්‍රීඩා කොට ඇති බව ඇත්තය. එහෙත් එකේ දෙකේ පන්තියේ සිසුවකු ලෙසින් සූට්කේසය විකට්ටුවට තබා ටෙනිස් බෝලයෙන් ඔහු මුලින්ම ක්‍රිකට් ගැසුවේ ගම්පහ බණ්ඩාරනායකයේ මිදුලේ මැයි ගහ යටය.
ඒ කාලයේ රණතුංග ටීචර්ගේ අතේ එල්ලී අර්ජුන බණ්ඩාරනායකයේ ප්‍රාථමික අංශයට පැමිණියේය. 1996 ලෝක ශූරතාව රැගෙන කටුනායක ගුවන්තොටුපළෙන් අර්ජුන සහ කණ්ඩායම මවුබිමට පා තබන මොහොත ජාතික රූපවාහිනිය ඔස්සේ මුළු රටටම පැවසූ නිවේදකයා වීමේ වාසනාව හිමිවූයේ මටය. එබැවින් අර්ජුන මෙන්ම මම ද 1996 ලෝක ශූරතාව හරහා ඉතිහාසයට එක්වීමි.
කරන්නට සුවිශේෂ වැඩක් නොමැතිමුත් වසර පනහකට ආසන්න දුරාතීතයක සැරිසරන්නට මම එදින ඒ පින්බිමට පිය මනින්නෙමි.
“කොල්ලො තොට පුළුවන් ලියන්ඩ විතරයි. ඒකවත් හරියට කරාපං”
කුමාරසිංහ ටීචර්ගේ ඒ නියත විවරණ වාක්‍යය ගම්පහ බණ්ඩාරනායකයේ ඩැස් පුටු ගොඩනැඟිලි පන්ති කාමර අතර දෝංකාර දෙනු මට අසන්නට ලැබෙනු නිසැකය. (ඒත් ඒකවත් හරියට කළාදැයි මම නොදන්නෙමි.) එහෙත් ජූලි 06 වැනිදා මම මගේ පන්ති කාමරය දැකීමට යන්නෙමි.


leකසුරි-- 

Bandaranayakaye Api

එවූ ඊ - පණිවුඩයක් ඇසුරිනි

Comments

Post a Comment